Sunday 20 April 2014

පොලිස් වාර්තාව සහ බණ්ඩාර සාජන් මහත්තයාගේ පගා ගැහීමේ කලාව


රට යන්න පොලිස් රිපෝර්ට් ගන්න ගිහින් වෙච්ච සීන් එකක් මේක.

 මමත් ලංකාවට ඇවිත් ආයේ යන්න ඕන නිසා ගියා පොලිස් මෙවුවා එකක් ගන්න. ඔක්කොම පෝම් පුරෝලා බාරදුන්න කොලොම්බෝ ලොකු තැනට. 
ඉතින් ඔන්න දවස්  ගානක් බලන් හිටියා මේක එනකම්. සාමන්‍ය ක්‍රමය නම් දවස් තුනක් ඇතුලත කොලොම්බෝ වලින් අදාළ පොලීසියට පැක්ස් එකක් එනවා . එතන පොලීසියේ මහත්තයෙක් ඇවිත් හොයලා බලල වාර්තාව කොලොම්බෝ තැනට යවනවා. එතනින් දවස් හතක් ඇතුලත මට ඉංග්‍රීසියෙන් ලියපු එකක් එවනවා . ඕක තමා ක්‍රමේ. මාගේ බිරිද කුරුනෑගල පොලීසියෙන් පොලිස් වාර්තාව ලබාගත්තේද ඔය ක්‍රමයටය.

මටත් කෑගල්ල පොලීසියෙන් ආව කෝල් එකක්. පොලීසියට එන්න කියල . 
මමත් ගියා බලන්න. 
එතන හිටියා සාජන් මහත්තයෙක් බණ්ඩාර කියලා. එයා තමයි කෑගල්ලේ මේ රිපෝර්ට් දෙන්නේ. 
ඔන්න මමත් ගිහින් හමු වෙලා මගේ විස්තර කියල මගේ හැදුනුම්පතේ සහ පාස් පොර්ට් එකේ කොපි දෙකක් දුන්නා. ඒ අවස්තාවේදී ඒ දෙකම කොලොම්බෝ වලින් එවපු පැක්ස් කොලේකට ඇමුනුවා. ඒ පැක්ස් කොලේ මා වෙනුවෙන් ප්‍රධාන කාර්යාලයෙන් එවපු එකක්. එහි මගේ නම සහ අංක සටහන් වෙලා තිබ්බා. 

ඔන්න ඔය ටික බාර අරගෙන අර බණ්ඩාර සාජන් මහත්තයා මගේ විස්තර අහන්න ගත්තා. මමත් ඉතින් ටිකක් කීව. මගේ පියා අවුරුදු 37 ක්  පොලිස් සේවයෙන් විශ්‍රාමිකව සිට මිය ගිය විස්තර සහ මගේ එංගලන්තේ විස්තර ලාවට ලාවට ඔන්න කීව කියමුකෝ . 

දැන් හරි. බණ්ඩාර මහත්තය මාර පිට්  මාත් එක්ක. පොලිස් ස්ථානාධිපති වරයෙක්ගේ පුතෙක් නිසාත් , "හරි හරි පුතා මම රිපෝර්ට් එක යවන්නම්" කියල පිටට තට්ටුවක් එහෙම දාල මාව යැවුවා. 

මමත් ඉතින් පුල් හැපී මෙවුවා එකේ ගෙදර ආව ඔක්කොම හරි නිසා. 
ඔන්න මම දැන් ඉන්නවා ඉන්නවා ඉන්නවා බලාගෙන ඉන්නවා මේ වාර්තාව එනකම්. දැන් සති තුනකට ලගයි . බඩු  නෑ . 

මොකෝ කරන්නේ ???? 
මම කෝකටත් කියල බණ්ඩාර සාජන්ට කෝල් එකක් දුන්නා මොකෝ සීන් එක බලන්න. 
මෙන්න බොලේ මේකා කියපි එක පාරම එහෙම ලියුමක් මෙහෙ නෑ, ඔයාගේ නමට එවපු පැක්ස් එහෙකුත් නෑ , මම කිසි දෙයක් දන්නේ නෑ කියලා. 
මගේ `මයිල් ඉස්මයිල් වී , චු බොක්ක හිරවී, බොග කරවී ගොස් සිහිමුර්ජා තත්වයකට පත් උනා ඔය අවස්ථාවේදී . හේතුව, ඒ දවසේ සිට ඊලග වීසා අයදුම්පත යැවීමට මට ඇත්තේ දවස් තුනක් නිසාවෙනුත් මේ වනවිට මම කිරිහොද්දට වැටෙනකම් වීසා එක වෙනුවෙන් වියදම් කර ඇති නිසාවෙනුත්ය. 

මේ පොලිස් කොලේ නැති උනොත් මගේ අවුරුදු 5 ක උත්සාහය වතුරේ නොව උඩු හුළගේ ගසා ගෙන යන තරම් අවස්තාව බයානක බව මම දන්න නිසා අතිගරු බණ්ඩාර සාජන් මහතා හමුවීමට නැවත ගියෙමි.

ඒ ගිය වෙලේ ඔහු නැවත නැවත පැවසුවේ එහෙම පැක්ස් එකක් නැති බව සහ ඔර්ජිනල් එක නැතිව රිපෝර්ට් දෙන්න බැරි බවය. 
කේලා හුටා. කුමක් කරම්ද අසරණ මම . 
එතකොට මම මුලින් ඇවිත් බාර දීපු පොටෝ කොපි කෝ ?? එදා දැකපු පැක්ස් එක ??? ඒවාට මොකෝ උනේ ???? 

දෙයියෝ ඇර බණ්ඩාර ලොක්ක විතරයි ඒවා දන්නේ. 

මොහොතක් සිතා සැනකින් ලොකු තැන හමු වීමට ගියෙමි. 
කඩ්ඩ යන්තම් වනා (කඩ්ඩ වැනුව නිසා ඔහු මා සමග කතා කලෝය. නැතිනම් පස්සේ එන්න උත්තරය හෝ රාජකාරියට අදාළ පුග්ගලයාව මුණ ගැසෙන්න යන පිළිතුර  රැගෙන මම ආපසු හැරිය යුතුවේ, එය ලංකාවේ කොහෙත් හැටිය. කඩ්ඩ පොඩ්ඩක් පුළුවන් නම් යන්තම් ගොඩය. ) පොලීසිය බාර ලොකු මහත්තයා හමුවී මගේ දුක ප්‍රකාශ කලෙමි . 
එතුමා බණ්ඩාර ගොයියා කැදවා පැක්ස් එක තියේ නම් රිපෝර්ට් එක ගහල යවන ලෙස නියෝග කලෝය. 
"පැක්ස් එක නම් තියනවා සර් එත් ඔර්ජිනල් එක නැතිව ඕවා කරන්න බෑ . මේවා එම්බසි වල වැඩ නේ. ඉන්න ටිකක් බලමු , එන්නකෝ   මල්ලි  "
මේකා දැන් හුනා ක්‍රොකඩයිල් කර පෙන්වයි. මගේ රිපෝර්ට් එක එම්බසියට යන්න තව පියවරක් යා යුතුය. තවම පොලීසියේ රාජකාරිය ඉවර නැත. 
අප මුලින් ඇඳිය යුත්තේ යට ඇදුමය. කලිසම අදින්නේ ඊට පසුවය. ඔය දෙක මාරු කර අදින්නේ සුපර් මෑන්ස් පමණි. 

ඔන්න බණ්ඩාගේ කතාව. දැන් පුතා මල්ලි වී 'වැඩේ හරි '  සීන් එක 'බලමු' වී ඇත .
ඒ වනවිට පාලන අංශයේ අනිත් හැමෝම කීවේ පැක්ස් එක තියේ නම් ගැටළුවක් නැති බව සහ විශේෂයෙන් මගේ පියා යාබද පොලීසියේ ස්ථානාධිපති වරයා ලෙස වැඩකළ සමයේ කිහිප දෙනෙකු එතුමා සමග වැඩ කල බවත් , කිසි ගැටළුවක් නැති නිසා වාර්තාව ලබා දෙන ලෙසත්ය ...

"එහෙම පැක්ස් එකක් ඇවිත් නෑ "

රෙද්දේ තුත්තිරි. ඔන්න බණ්ඩාගේ කතාව. 
මේකා විනාඩි දෙකට කතාව මාරු කලාය. (ස්ත්‍රී ලිංගයෙන් වාක්‍ය ඉවර කලේ බන්ඩාගේ නියම ගතිය කීමටය.)

මුගේ අම්මට සිරි පාද වදිමු සමනල කන්දේ කියලා මගේ හිතට ලෝකේ නොයෙක් වර්ගයෙන් කුණු හරුප ගලාගෙන එනවා... 

දැන් මොකද කරන්නේ , මම නැවත කොළොඹ ප්‍රධාන කාර්යාලයට කිහිප සැරයක් කතා කර දැන ගත් විස්තරය අනුව ඔවුන් පැක්ස් කොලය සහ ඔර්ජිනල් නිවේදනයද ඒවා අවසන්ය. 

මට කා දැමීමට කාලයක් නොමැත. 
බණ්ඩාර කාරයාද හවස 3 පමණ වනවිට ගෙදර හෝ කොහේ හෝ මාරු විය. 
අනිත් දවසේ නැවත කෑගල්ලට ගොස් පළාත බාර ලොකුම පොලිස් මහතාට  මගේ ප්‍රශ්නය ඉදිරිපත් කොට පිළිතුරක් බලාපොරොත්තු වූවෙමි. උත්තරය පුල් ඔෆීසියල් වේ, 
"මේවා ලීගල් ක්‍රයිටීරියා. නැවත කොඹ ගිහින් ඉන්ෆොර්ම් කරලා බලන්න. මට කරන්න දෙයක් නෑ "

හැක් හැක් හැක් ..  මම දැන් පලකො කොළඹ ,, 
උට තරු හතක් අටක්  සහ රාජ්‍ය ලාංජනය සහිත කාකි කෝට් එක දුන්නේ කවුද දන්නේ නෑ . අඩුම ගානේ බණ්ඩාර කාරයාට කතා කොට විමසීමක් වත් කලේ නැත. 

ඔන්න දැන් මට තද වෙනවා අම්මප පිස්සු හැදෙනවා කියලා ...
දෙන්නම් ජම්බු හත් මුතු පරම්පරාවටම කියල හිතාගෙන පාරට බැස්සෙමි. 
සබරගමුවේ මහ ඇමති මහීපාල හේරත්ව මම පුද්ගලිකව දන්නේ නැති වුවත් (දේශාපාලනය කරන කිසිම කෙනෙක් අඩුම ගන්නේ ප්‍රාදේශීය සබාවක විපක්ෂ මන්ත්‍රී කෙනෙක්වත් මා නොදනිමි. දේශපාලනය මට අරහන්ය. ) මගේ ලගම ඥාතියෙක් එතුමාගේ ලගම මෙවුවා එකකි, ලගම කීවේ මේම මේම එකකි . 

එතුමාගේ පිහිට පැතීමට අවසන මම තීරණය කොට දුරකතනයෙන් ඔහුට කතා කලෙමි. 
"පුතේ ගෙදර එන්නකෝ "  
මම එම කියූ තැනට ගොස් මගේ දුක් ගැනවිල්ල ප්‍රකාශ කලෙමි. ප්‍රධාන හේතුව මට ඇත්තේ තව දින දෙකක් නිසාවෙනි. 
ඔන්න මගේ අහවලා කෝල් එකක් ගන්නවා කෑගල්ලේ පොලීසියට. 
"ආ හලෝ. කවුද ඔය. මම අහවලා කතා කරන්නේ, කෝ අර බණ්ඩාර කාරය. අර ලගදි අපිට කියලා මාරුවීමක් හදා ගත්තේ. කෝ මිනිහා. ????

"ආ බන්ඩාරද ?? මොකෝ අයිසේ මේ කරන්නේ ?? මගේ ළමයෙක්ව තමුසේ වටේ යවන්නේ මොකෝ ?? ආපහු හිටිය දිහාටම යන්න ඕනේ වෙලාද දගලන්නේ ???"
"ආ හරි . මම එන්න කියන්නම්. ආය මේවා වෙන්ඩ තියන්ඩ බෑ. රාජකාරිය හරියට කරනවා . තේරුනාද ?"

"පුතා ගිහින් මිනිහව මුණ ගැහෙන්නකෝ. දැන්ම යන්න. ගිහින් වැඩේ කරගෙන එන්න ."

ඔන්න මම දහ අතේ පින් දීල නමෝ විත්තියෙන් ගියා කෑගල්ලේ පොලීසියට. 
හැක් හැක් හැක් 
බණ්ඩාර සාජන් පුටුවේ නෑ . කෑමට ගිහින්ලු. පැය බාගෙකට පස්සේ ඔන්න එනවා කෑම කන්න ගියාලු. වෙලාව දවල් එකයි. එත් මිනිහගේ බත් පාර්සල් එක මෙසේ උඩ. (සමහර විට මිනිහා බත් වෙනුවට තණකොළ හරි පුන්නක්කු හරි කනවා වෙන්නත් ඇති )

ඔන්න බණ්ඩාර සාජන් ඇවිල්ල 
"ආ පුතා මම වාර්තාව ගහල තියෙන්නේ. මේ ... බලන්න ඔකේ මොකුත් වැරදි තියේද කියල ???"

නෙදකින් මේ බණ්ඩාරය ,,,,

ඔන්න මම වාර්තාව බලනවා. 
මගේ සම්පුර්න  නම , ලිපිනය, ලංකාවේ හිටපු කාල වකවානු, හැදුනුම්පත් අංක ඔක්කොම විස්තර සමග පැහැදිලි චරිතවත් පුද්ගලයෙක් විදිහට පොලිස් වාර්තාවක් මා ඉදිරිපිට තියේ. 
නෑ කියපු පැක්ස්, ඔර්ජිනල් , මගේ හැදුනුම්පත් කොපි, පාස්පෝර්ට් කොපි ඔක්කොම එතන. 
.
බුදු අම්බෝ මාරයිනේ බණ්ඩාර මහත්තයෝ ඔයා. මගේ විස්තර දිවැසින් බලල දාල තියෙන්නේ නේද කියල අහන්නත් අහලා , මොනා උනත් මගේ පියත් පොලිස් නිලධාරියෙක් නිසා කට වහගෙන  බොහොම ස්තුතියි කියලා කොපියක් අරන් එන්න හදද්දී ....

"ඔය ඔර්ජිනල් එකම දීල යවන්න. ඕක පුතා කොළඹටම ගිහින් බාර දෙන්න, අපි මෙහෙන් පැක්ස් එකක් යැවුවා " o i c ලොකු මහත්තයගේ කට හඬ මට පිටිපස්සෙන් ඇහුනා. 

අයියෝ පොලිස්.......

මම පොඩ්ඩක් පොලීසිය ඇතුලේ බලන් හිටියා අර ලොකුම ලොකු තරු හත අටක් තියන ලොකු ලාංජන ගහගෙන හිටපු මෑන්සුත් ඇවිත් මහත්තය හරි නේද රිපෝර්ට් එක කියල අහයි කියල ,,, 

ම්හ්හ්හ් .. මෑන්ස් නම් ආවේ නෑ . මොනා උනත් මිනිහට පොඩ්ඩක් හරි ලැජ්ජාවක් හරි වෙන මොනා හරි දෙයක් ඇති. 

මම ලංකාවේ සාමාන්‍ය, දුප්පත් අහිංසක  ජනයා ගැන  පහන් සංවේගය ඇති කරගෙන කෑගල්ල පොලීසියෙන් එලියට බැස්සෙමි . 
---------------------------------------------------------------------------
පසුව සොයා බැලීමේදී ආරංචි වුයේ කෑගල්ලේ පොලිස් වාර්තා නිකුත් කරන බණ්ඩාර සාජන් මහත්තයාගේ පගා ගැහීමේ කලාව මෙය යන්නයි. 
---------------------------------------------------------------------------
අවුරුදු 5ක් එක දිගට දිවා රෑ මහන්සී වී ,වීසා සදහා ලක්ස 15 -20 ක් වියදම් කර යුරෝපයේ රටක ස්ථිර පදිංචියට යාමට සුදානම් වී සිටින මා කෑගල්ල පොලීසියෙන් පොලිස් වාර්තාව ලබා ගැනීමට එම මොහොතේ බණ්ඩාර සාජන් රුපියල් 10,000/- ක් ඉල්ලුවත් එය ලබා දීමට නොපැකිලි වන බව බණ්ඩාර ලොක්කා අත්දැකීමෙන් දන්නා කරුණකි. 

කෑගල්ලේ බණ්ඩාර සාජන් මහත්තයා මා වැනි කීදෙනෙකු මෙලෙස අමාරුවේ දමා සල්ලි ගරා ගන්නවා ඇතිද ??? 

එය බොහොම සරල පැහැදිලි ලෙස මට පෙනීමට තිබුණි. එසේම මුළු පොලිස් පාලන පද්ධතියම ඊට උඩ ගෙඩි දෙන්නට සකස්වී තිබුණි. 
ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ පටන් සියලුම නිළධාරීන් මෙහි කොටස් කරුවන් බව මට වැටහිණි. 

මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල නිවැරදි බව සහතික කරමි. පවසා ඇති සෑම වචනයකටම මම වගකීම ගනිමි. 

ශ්‍රී ලංකාවේ පොලිස් සේවයට ජය වේවා... 

ජය ශ්‍රී 

සිරී නොහොත් මද්දුවා 



















5 comments:

  1. ඔයාලගේ බ්ලොග් අඩවි මගේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න මට ලින්ක් එවන්න, තව ඔයාලා දන්න සිංහල බ්ලොග් වගේම ලංකාවේ බ්ලොග් පිටු වල විස්තර අපට එවන්න අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් රචකයන්ට හා පාඨකයන්ට මේකෙන් යම් පහසුවක් සලසා දීමයි මෙහි අරමුණ.

    ReplyDelete
  2. මේ සිස්ටම් එකම හැදිලා තියෙන්නේ ඔය ජරා ලයින් එකට සහෝ..

    ReplyDelete
  3. කවදා හැදෙයිද.....නැත්නම් හැදෙන එකක් ඇත්තෙම නැද්ද..

    ReplyDelete
  4. මේ ඉතින් ලංකාවනේ...

    ReplyDelete
  5. ආස්චර්යට යන ගමන් නේ .... -_-

    ReplyDelete